එදින කලබලකාරී බදාදාවකි. වැඩ රාජකාරි බොහොමයක් තිබුණු දවසකි. වෙනදාට වඩා වේලාසනින් නිවසින් පිටත් වූ මම සුපුරුදු ලෙසම පිත්තල හන්දියෙන් බැස ගතිමි. වැඩ රාජකාරි අධික දවසක් වූ නිසාත් ඉක්මනින් කාර්යාලය වෙත යා යුතු වූ නිසාත් එතැන් සිට නවම් මාවතේ පිහිට තිබු මාගේ කාර්යාලයට ත්‍රීරෝද රියකින් ගමන් කිරීමට ඉටා ගතිමි.
කහ ඉරෙන් පාර මාරු වූ විගසම මගීන් රහිත ත්‍රීරෝද රියක් හමුවන්නේ වාසනාවකටය. එදින මට එම වාසනාගුණය තිබු අතර මුලින්ම පැමිණි ත්‍රීරෝද රියට මා ගොඩ වුයේ නවම් මාවතට යමු යනුවෙන් පවසමිනි.
"මට සර් ව දැකල පුරුදුයි. සර් සම්පත් බැංකුවේ ද වැඩ කරන්නේ.."
මගේ ගමන ආරම්භ කොට ස්වල්ප දුරක් ගිය විට ත්‍රීරෝද රථ රියදුරා මගෙන් විමසුවේය..
සම්පත් බැංකු මුලස්ථානය ඇත්තේ නවම් මාවතේ ඇති බැවින්ද ඔහු එසේ විමසුවා විය හැක.
නෑ .. මම කෙටි පිළිතුරක් දුනිමි.
"මම සම්පත් බැංකුවේ වැඩ කළා. කාඩ් සෙන්ටර් එකේ හිටියේ.."
"කොයි කාලේද සම්පත් බැංකුවෙන් අයින් වුනේ.." මම පෙරලා ඇසුවෙමි
" 2012 විතර සර් .. එකේ හිටිය ඇති සර් . එකෙන් අයින් වෙලා තමයි මම මේ ත්‍රීවීල් එක ගත්තේ.."
"සමහර විට මාව දැකල ඇති. මම සම්පත් බැංකුවේ මාස 6ක් විතර වැඩ කළා.. ඒ 2011 විතර."
"එකනේ මට සර්ව හොදට හුරු පුරුදුයි."
වසර හතරක පමණ අතීතයේ මා සමග වචනයක් වත් කතා නොකළ පුද්ගලයෙකුට මා දැක ඇති කීම මා සිත තුල විශ්මයක් සමග කුකුසක් ඇති කිරීමට සමත් විය.
නවම් මාවතට හැරෙනවත් සමග ඔහු ඇසුවේ අමුතු පැනයකි.
"හොංකොං ඩොලර් එකක් කීයක් විතර වෙයිද සර්.."
ඇමරිකන් ඩොලර් එකද රුපියල් 140 -145 ක පමණ පමණ වේ යයි මගේ සිත තුල අදහසක් තිබු මුත් හොංකොං ඩොලරයක අගය නම් සැබවින්ම මා නොදැන සිටියෙමි
"හ්ම්ම්... ඒක ගැන නම් මට අදහසක් නෑ .."
"රුපියල් දහයක් විතර වෙයි නේද සර්..."
"ඇයි හොංකොං ඩොලර් එකක ගාන ඇහුවේ..."
නෑ නිකන් යන පිළිතුර බලාපොරොත්තුවෙන් මම ඔහුගෙන් ඒ ප්‍රශ්නය විමසුවෙමි
" නෑ සර්. සර් කලින් ආපු මහත්තයා දෙහිවලින් නැග්ගේ කොල්ලුපිටියට එනකම් ආව . මගේ අද දවසේ උදේම හයර් එක ඉතින් එනකොට මම නිකන් කතා කර කර ආවා. මගේ පොඩි දුව ලෙඩින් ඉන්නේ සර්. මට එකත් ඒ මහත්තයා එක්ක කියවුනා. ඒ මහත්තයා ඊයේ හොංකොං වල ඉදල ඇවිත් තියෙන්නේ. අද මේ යාලුවෙක් මුණ ගැහෙන්න කොල්ලුපිටියට ඇවිත්. බහින වෙලාවේ ඩොලර් 150ක් දීල කිව්වා දුවගේ ඉතිරි බෙහෙත් ටික මේකෙන් ගන්න කියල හයර් එකේ ඉතිරි සල්ලිත් ගත්තේ නෑ .. එකයි මම ඇහුවේ"
කාර්යාලය අසලට පැමිණ ඇති බැවින් මා ත්‍රීවීලයෙන් බසින විට මා දුටුවේ සාමාන්‍යයෙන් ත්‍රීරෝද රියදුරන් තම දුරකථනය රැදවීමට යොදා ගන්න ත්‍රීවීල් රථයේ සුක්කානම ඉදිරියේ ඇති පුංචි පියනක් රහිත පෙට්ටියේ විදේශීය මුදල් නෝට්ටු කිහිපයක් තිබෙන බවයි.
"මේ තියෙන්නේ මේවා තමයි සර් අර මම කියපු මහත්තය දුන්නේ.."
මම ඒ ගැන ඇසීමටත් පෙර වැඩි වටිනාකම් නොවේ යයි ඔහු සිතු මුදල් නෝට්ටු ඔහු මා වෙත ගෙන හැර පෑවේය. එහි ඩොලර් 100 නෝට්ටුවක් 20 නෝට්ටු 2ක් හා ඩොලර් 5 නෝට්ටු 2ක් විය
එම විදේශීය මුදල් ඩොලර් වූ නමුදු ඒවා හොංකොං ඩොලර් නොවිණි. වර්තමානයේ ලංකාවේ පාවෙන අගයක් සහිත ඇමරිකානු ඩොලර් නෝට්ටු විය.
ඇමරිකන් ඩොලර් 150ක් ලංකාවේ මුදලින් නම් රුපියල් 20000 ක් පමණ මුදල් ප්‍රමාණයක්.. එවැනි මුදල් ප්‍රමාණයක් ඔහුගේ නොදැනුවත් කමින් ඔහු තබාගෙන සිටි ස්ථානය ..
"මේවා හොංකොං ඩොලර් නෙමෙයි .. මේ ඇමරිකන් ඩොලර් මෙතන රුපියල් 20000ක් විතර තියනවා. මේක පරිස්සම් කරලා තියා ගන්න.. ඔහොම
ඉක්මනට මේක මාරු කර ගන්න.. මේකෙන් දුවගේ අසනීපෙට බෙහෙත් ගන්න පුළුවන් වෙයි.. "
මම ඔහුට පැවසුවෙමි.
එය කියූ සැනින් තම පසුම්බියේ රහස් සාකුවක එම මුදල සගවා ගත් ඔහුගේ මුහුණේ තිබු සතුට මට ඔබට විස්තර කල නොහැක..
"බොහොම ස්තුතියි සර්.. සර් හිටිය හින්ද හොදයි. මම හිතුවේ ඒ මහත්තයා හොංකොං වල ඉදලා ආපු නිසා ඒවා හොංකොං ඩොලර් කියල. මම දැන් ගෙදර යනවා සර්.. මං ඉක්මනට සල්ලි ටික මාරු කර ගන්නම්.. ඔව් සර් මම බෙහෙත් ගන්නවා.. ස්තුතියි සර් .."
"අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න එපා මේ සල්ලි .."
නෑ සර් මම අරක්කු සිගරට් බොන්නේ නෑ සර්.. හැමදාම දෙයියන්ට බුදුන්ට මල් පහන් තියලා ඉල්ලුවේ පොඩි කෙල්ල ඉක්මනට සනීප කරලා දෙන්න කියල. දැන් ඒක මට ඉක්මනට කර ගන්න පුළුවන් සර්..
කියා ඔහු නික්මී ගියේ මා එපා කියද්දීත් මීටරයේ සදහන් වූ මුදලට වඩා අඩු මුදලක්ද ලබා ගනිමිනි ..
දෙමාපියන් බලුකුඩු වලට දමන, දරුවන් මහා මග දමා යන, දරුවන් පැහැරගෙන ගොස් දුෂණය කරන දේපල, මුදල් වෙනුවෙන් තම දෙමාපියන් සහෝදරයන් මරා ගන්නා යුගයක රුපියල් 20000ක් තමන් නොදන්නා පුද්ගලයෙකුගේ දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් දීමට ඔහු සංවේදී වූ ආකාරය අදටද මට සිත ගත නොහැක. ශ්‍රී ලාංකාව තුල තවමත් අතිශය සංවේදී හදවත් ඇත්තවුන් මනුස්සකමේ ගුණ සුවද හදුනන මිනිසුන් සිටින බව මෙම සිද්ධිය නැවත මට මතක් කළේය.
Comments
ස්තුතියි