Monday, January 18, 2016

කපුටා සහ මොණරා



අපේ ජීවිත ගැන අපි කොහොමද හිතන් ඉන්නේ.. කවුරු හරි ඇවිත් ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද කියලා ඔබේ පිළිතුර බොහෝ වෙලාවට " නෑ " යන වචනය නේද? නැත්නම් "ඔව්. එත්..."

 මම ඇහුවොත් ඒ ඇයි කියලා ඔබේ පිළිතුර මම දන්නවා. හුගක් දෙනාගේ පිළිතුර වෙන්නේ යම් දෙයක් ඔබට නැති කම නැත්නම් වෙන කාගේ හරි ලග තියන දෙයක් ඔබේ ගාව නැති කම. 

මේක හුගක් දෙනා අතර ජනප්‍රිය සංකල්පයක්. ඒ තමයි 
"මට නෑ සංකල්පය" ඒ සංකල්පය ඇති අය හැම විටම තමන් ගැන අඩු තක්සේරුවෙන්මයි සලකන්නේ.

  • අරය වගේ මට සල්ලි නෑනේ .. 
  • මම එච්චර දක්ෂ නෑ.. 
  • අපිට හරි ගියොත් ඉර අනිත් පැත්තෙන් පායයි. 
  • අපි දුප්පත්. අපිට උදව් කරන්න කවුරුත් නෑ..

මේ හේතු හින්දා ඔබ ඔබ ගැනම දුක් වෙනවා. අතිශය ශ්‍රේෂ්ට උත්තමයන් හැරෙන්නට මෙලොව වසන හුගක් මනුස්සයෝ යම් දෙයකින් තෘප්තිමත් කරන්න අමාරුයි.ගැහුණු පාර්ශවයේ මේ ගතිය පිරිමි පාර්ශවයට වඩා වැඩියි. ඔබ අද යම් තත්වයක ඉන්නවා නම් ඔබ බලන්නේ ඊට වඩා දෙයක් ලබා ගන්න. නැත්නම් වෙන කවුරු හරි ගාව තියන දෙයක් ගැන හිතලා හුල්ලන්න. තමන් ගැන , තමන් ඉන්න තත්වය, තමන්ට අයිති දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඔබේ ජීවිතය දැන් තියනවට වඩා සුන්දර වේවි,සරල වේවි

 හුගක් අය දන්නා මෙන්න මේ පුංචි කතාවත් මම මුලින් කිව්වා දේට ගැලපෙනවා.. , 

 ඔන්න එකමත් එක රටක තිබුණු ලොකු කැලේක හිටියා කපුටෙක්. ඔව් අපි දන්න සාමාන්‍ය කපුටෙක් තමයි. දවසක් මේ කපුටා දැක්ක ඒ කැළේ අසල තිබුණු විලක ඉන්නවා හංසයෙක්.. සුදු ලස්සන හංසයෙක්... මේ හංසයා දැක්ක ගමන් කපුටට මෙහෙම හිතුනා .. 

අර හංසයා හරිම සුදුයි,, හරිම ලස්සනය.. එකට මම කළුම කළු පාටයි.. ඒ හංසයා වෙන්න ඇති සතුටුම කුරුල්ලා.. අනේ මටත් හංසයෙක් වෙන්න තිබුන නම්.. 

මෙහෙම හිතපු ඒ කළු කපුටා හංසයා ගාවට ගිහින් තමන් හිතපු දේ ඒ හංසයාට කිව්වා..

 නෑ යාළුවා මම සුදුයි තමයි. එත් බලන්න අර ගිරවා.. ගිරවට අපි වගේ එක පාටක් නෙමෙයි පාට දෙකක්ම තියනවා, එනිසා මම හිතන්නේ ගිරවා තමයි සතුටින්ම ඉන්නේ. 

හංසයාගේ පිළිතුරත් එක්ක කපුටාගේ සිතුවිලි වෙනස් වුනා.. ඌ ට දැන් ඕනේ ගිරවෙක් වගේ වෙන්න. ඊට පස්සේ කපුටා ගියා ගිරවා හොයාගෙන. කලින් හංසයාට කිව්වා වගේ ගිරවටත් කිව්වා තමන්ගේ අදහස.. ඒ ඔක්කොම සාවදානව අහන හිටිය ගිරවා කිව්වා 

යාලුවේ මට පාට දෙකක් තියන එක ඇත්ත. ඒත් මොණරා දිහා බලන්න.. කොච්චර පාට තියනවද.. අපි වගේද මොණරා.. කොච්චර සතුටින්ද ඇත්තේ.. ගිරවා කිව්ව කතාව ඇත්ත කියලා කපුටට හිතුනා. මොනරට වඩා පාට තියන කුරුල්ලෝ කොහෙද.. මොනරා තමයි සතුටුම කුරුල්ලා.. ඉතින් කපුටා මොනර හොයා ගෙන පියඹුවා. ඒ කැලේ මොනරු හිටිය නැති නිසා ඒ කාලය අසල වූ සත්තු වත්තක ඉන්න මොනරෙක් දුටු කපුටා හෙමින් මොනරා ගාවට කිට්ටු කළා ..

 ඔබ හරිම ලස්සනයි. ඔබේ ශරීරයේ නේක විද වර්ණ .. මිනිසුන් දහස් ගණනක් පැමිණ ඔබ බලා යනවා. එකට මට .. මාව දකින කොට ෂෝ ෂෝ ගාල එලවල දන්නවා.. බලන්න ඔබ කොතරම් වාසනාවන්තද කියල මම හිතන්නේ ඔබ තමයි හුගක්ම සතුටින් ඉන්න කුරුල්ලා .. කපුටා මෙහෙම මොනරාට කිව්වා. 

එත් කපුටටා ලැබුණු පිළිතුර කුමක්ද කියා ඔබ දන්නවද 

කපුටු යාලුවේ .. ඔබ පැවසු දෙය ඇත්ත. මගේ ශරීරයේ හුගක් වර්ණ තියනවා තමයි. ඒවගේම මම හරිම ලස්සනයි කියලත් දන්නවා. මිනිස්සුත් මගේ ලස්සන වර්නන කරනවා . එත් මම ඉන්නේ මේ කුඩුවේ හිර වෙලා මටත් ආසයි ඔබ වගේ ඈත අහසේ පියාබන්න. එත් මට කොහෙද ඒකට වාසනාවක්. මිනිස්සු කවදාවත් ඔබව කුඩුවකට නම් දාන එකක් නෑ. ඒ අතින් බලනකොට හුගක්ම නිදහසක් තියෙන්නේ ඔබට. මට නොවෙයි . මම නම් හිතන්නේ සතුටින්ම ඉන්න ඕනේ කුරුල්ලා ඔබයි මම නොවෙයි..

තමන් ගැන මෙච්චර වෙලා අවතක්සේරුවෙන් හිටිය කපුටා, මොනරා මෙහෙම කිව්වට පස්සේ හුගාක් සතුටු වුනා, ආයෙත් කවදාවත්ම තමන් කාත් එක්කවත් සංසන්දනය කරන්න ගියේ නෑ..


Saturday, January 9, 2016

හොංකොං ඩොලර් එකක් කීයද සර් ....?



එදින කලබලකාරී බදාදාවකි. වැඩ රාජකාරි බොහොමයක් තිබුණු දවසකි. වෙනදාට වඩා  වේලාසනින් නිවසින් පිටත් වූ මම සුපුරුදු ලෙසම පිත්තල හන්දියෙන් බැස ගතිමි. වැඩ රාජකාරි අධික දවසක් වූ නිසාත් ඉක්මනින් කාර්යාලය වෙත යා යුතු වූ නිසාත් එතැන් සිට නවම් මාවතේ පිහිට තිබු මාගේ කාර්යාලයට ත්‍රීරෝද රියකින් ගමන් කිරීමට ඉටා ගතිමි.

කහ ඉරෙන් පාර මාරු වූ විගසම මගීන් රහිත ත්‍රීරෝද රියක් හමුවන්නේ වාසනාවකටය. එදින මට එම වාසනාගුණය තිබු අතර මුලින්ම පැමිණි ත්‍රීරෝද රියට මා ගොඩ වුයේ නවම් මාවතට යමු යනුවෙන් පවසමිනි.

 "මට සර් ව දැකල පුරුදුයි. සර් සම්පත් බැංකුවේ ද වැඩ කරන්නේ.."

මගේ ගමන ආරම්භ කොට ස්වල්ප දුරක් ගිය විට ත්‍රීරෝද රථ රියදුරා මගෙන් විමසුවේය.. සම්පත් බැංකු මුලස්ථානය ඇත්තේ නවම් මාවතේ ඇති බැවින්ද ඔහු එසේ විමසුවා විය හැක.

 නෑ .. මම කෙටි පිළිතුරක් දුනිමි.

 "මම සම්පත් බැංකුවේ වැඩ කළා. කාඩ් සෙන්ටර් එකේ හිටියේ.."

 "කොයි කාලේද සම්පත් බැංකුවෙන් අයින් වුනේ.." මම පෙරලා ඇසුවෙමි

" 2012 විතර සර් .. එකේ හිටිය ඇති සර් . එකෙන් අයින් වෙලා තමයි මම මේ ත්‍රීවීල් එක ගත්තේ.."

 "සමහර විට  මාව දැකල ඇති. මම සම්පත් බැංකුවේ මාස 6ක් විතර වැඩ කළා.. ඒ 2011 විතර."

 "එකනේ මට සර්ව හොදට හුරු පුරුදුයි."

 වසර හතරක පමණ අතීතයේ මා සමග වචනයක් වත් කතා නොකළ පුද්ගලයෙකුට මා දැක ඇති කීම මා සිත තුල විශ්මයක් සමග කුකුසක් ඇති කිරීමට සමත් විය. නවම් මාවතට හැරෙනවත් සමග ඔහු ඇසුවේ අමුතු පැනයකි.

 "හොංකොං ඩොලර් එකක් කීයක් විතර වෙයිද සර්.."

ඇමරිකන් ඩොලර් එකද රුපියල් 140 -145 ක පමණ පමණ වේ යයි මගේ සිත තුල අදහසක් තිබු මුත් හොංකොං ඩොලරයක අගය නම් සැබවින්ම මා නොදැන සිටියෙමි

 "හ්ම්ම්... ඒක ගැන නම් මට අදහසක් නෑ .."

 "රුපියල් දහයක් විතර වෙයි නේද සර්..."

 "ඇයි හොංකොං ඩොලර් එකක ගාන ඇහුවේ..."

නෑ නිකන් යන පිළිතුර බලාපොරොත්තුවෙන් මම ඔහුගෙන් ඒ ප්‍රශ්නය විමසුවෙමි

" නෑ සර්. සර් කලින් ආපු මහත්තයා දෙහිවලින් නැග්ගේ කොල්ලුපිටියට එනකම් ආව . මගේ අද දවසේ උදේම හයර් එක ඉතින් එනකොට මම නිකන් කතා කර කර ආවා. මගේ පොඩි දුව ලෙඩින් ඉන්නේ සර්. මට එකත් ඒ මහත්තයා එක්ක කියවුනා. ඒ මහත්තයා ඊයේ හොංකොං වල ඉදල ඇවිත් තියෙන්නේ. අද මේ යාලුවෙක් මුණ ගැහෙන්න කොල්ලුපිටියට ඇවිත්. බහින වෙලාවේ ඩොලර් 150ක් දීල කිව්වා දුවගේ ඉතිරි බෙහෙත් ටික මේකෙන් ගන්න කියල හයර් එකේ ඉතිරි සල්ලිත් ගත්තේ නෑ .. එකයි මම ඇහුවේ"

 කාර්යාලය අසලට පැමිණ ඇති බැවින් මා ත්‍රීවීලයෙන් බසින විට මා දුටුවේ සාමාන්‍යයෙන් ත්‍රීරෝද රියදුරන් තම දුරකථනය රැදවීමට යොදා ගන්න ත්‍රීවීල් රථයේ සුක්කානම ඉදිරියේ ඇති පුංචි පියනක් රහිත පෙට්ටියේ විදේශීය මුදල් නෝට්ටු කිහිපයක් තිබෙන බවයි.

 "මේ තියෙන්නේ මේවා තමයි සර් අර මම කියපු මහත්තය දුන්නේ.."

 මම ඒ ගැන ඇසීමටත් පෙර වැඩි වටිනාකම් නොවේ යයි ඔහු සිතු මුදල් නෝට්ටු ඔහු මා වෙත ගෙන හැර පෑවේය. එහි ඩොලර් 100 නෝට්ටුවක් 20 නෝට්ටු 2ක් හා ඩොලර් 5 නෝට්ටු 2ක් විය එම විදේශීය මුදල් ඩොලර් වූ නමුදු ඒවා හොංකොං ඩොලර් නොවිණි. වර්තමානයේ ලංකාවේ පාවෙන අගයක් සහිත ඇමරිකානු ඩොලර් නෝට්ටු විය. ඇමරිකන් ඩොලර් 150ක් ලංකාවේ මුදලින් නම් රුපියල් 20000 ක් පමණ මුදල් ප්‍රමාණයක්.. එවැනි මුදල් ප්‍රමාණයක් ඔහුගේ නොදැනුවත් කමින් ඔහු තබාගෙන සිටි ස්ථානය ..

"මේවා හොංකොං ඩොලර් නෙමෙයි .. මේ ඇමරිකන් ඩොලර් මෙතන රුපියල් 20000ක් විතර තියනවා. මේක පරිස්සම් කරලා තියා ගන්න.. ඔහොම ඉක්මනට මේක මාරු කර ගන්න.. මේකෙන් දුවගේ අසනීපෙට බෙහෙත් ගන්න පුළුවන් වෙයි.. "
 මම ඔහුට පැවසුවෙමි.

 එය කියූ සැනින් තම පසුම්බියේ රහස් සාකුවක එම මුදල සගවා ගත් ඔහුගේ මුහුණේ තිබු සතුට මට ඔබට විස්තර කල නොහැක..

 "බොහොම ස්තුතියි සර්.. සර් හිටිය හින්ද හොදයි. මම හිතුවේ ඒ මහත්තයා හොංකොං වල ඉදලා ආපු නිසා ඒවා හොංකොං ඩොලර් කියල. මම දැන් ගෙදර යනවා සර්.. මං ඉක්මනට සල්ලි ටික මාරු කර ගන්නම්.. ඔව් සර් මම බෙහෙත් ගන්නවා.. ස්තුතියි සර් .."

 "අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න එපා මේ සල්ලි .."

 නෑ සර් මම අරක්කු සිගරට් බොන්නේ නෑ සර්.. හැමදාම දෙයියන්ට බුදුන්ට මල් පහන් තියලා ඉල්ලුවේ පොඩි කෙල්ල ඉක්මනට සනීප කරලා දෙන්න කියල. දැන් ඒක මට ඉක්මනට කර ගන්න පුළුවන් සර්.. කියා ඔහු නික්මී ගියේ මා එපා කියද්දීත් මීටරයේ සදහන් වූ මුදලට වඩා අඩු මුදලක්ද ලබා ගනිමිනි ..

 දෙමාපියන් බලුකුඩු වලට දමන, දරුවන් මහා මග දමා යන, දරුවන් පැහැරගෙන ගොස් දුෂණය කරන දේපල, මුදල් වෙනුවෙන් තම දෙමාපියන් සහෝදරයන් මරා ගන්නා යුගයක රුපියල් 20000ක් තමන් නොදන්නා පුද්ගලයෙකුගේ දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් දීමට ඔහු සංවේදී වූ ආකාරය අදටද මට සිත ගත නොහැක. ශ්‍රී ලාංකාව තුල තවමත් අතිශය සංවේදී හදවත් ඇත්තවුන් මනුස්සකමේ ගුණ සුවද හදුනන මිනිසුන් සිටින බව මෙම සිද්ධිය නැවත මට මතක් කළේය.