Monday, September 21, 2015

සිරිදාස ගැන මට දුකය



මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ??

 ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි..

 නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්.. 

විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි මම කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි.

 එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා.. 

ගියවර ඔහු පැමිණ සතියක් වත් ගත නොවී තිබුනු අතර ඔහු පැමිණියේ කුමකට දැයි මා දැන සිටියේද නැත. මට දැන ගැනීමට උවමනාවක් තිබුනේද නැත. 

සිරිදාස හීන්දෑරි අහිංසකයෙකි, නගර සභා කම්කරුවෙකි.. කුණු මෑන් යනුවෙන් මාගේ මිතුරන් ඔහුට අන්වර්ථ නාමයක් පට බැන්දත් අපේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඔහු සොච්චම් මුදලට කරන්නේ මහගු සේවයක් යැයි ඔහු දකින හැම වාරයකදීම සිතුනි. අක්බමරු කොන්ඩයත් තරමකට වැවුණු උඩු ,යටි  රැවුලත් ඔහුගේ මුහුනට අමුතු පෙනුමක් එකතු කලේය. යටි ඇන්දේ දත් කිහිපයක් නැති මුත් ගුරුවන් පැහැයෙන් යුතු මුව තුල බුලත් විටක් නම් නොවරදින්නේය.බාච්චු කලිසමත් දුර්වර්නව ගිය කමිසයත් තම එකම විලාසිතව විය. එය ඔහුගේ නිල ඇදුම වුවද එය ඔහු සොදා හැඳි දවසක් නම් මට මෙන්ම ඔහුටද මතක ඇතැයි විශ්වස කල නොහැක.

වයස අවුරුදු පනහ පැන නැතයි වරක මා සිතුවේ තරුනයෙකු මෙන් තවමත් කඩිසර නිසවෙනි.

 මට දැන් පනස් දෙකයි මහත්තයො යනුවෙන් පැවසු දා පටන් මාගෙ නිගමනය නිවැරදි නොවිය.

සිරිදාස මට මුලින්ම මුණ ගැසෙන්නේ මීට වසරකට පමණ කලකට පෙරය. ඒ මා මාගේ අලුත් නවාතැනට පැමිණි අලුතමය .

ගෙදර මෙන් හැමදාම උදේ නිවෙස් වල රැස්වන කුණු ගෙන යාමට නගර සභාවෙන් නොපැමිණ බව මා දැන ගත්තේ මෙහි පැමිණ දින දෙක තුනක් ගිය පසුවය. එන්නේ සතියට එක දවසක් පමණි ඒ කෙම්මුර අගහරුවාදාය.

දිනය බ්‍රහස්පතින්දවකි, මගේ කුණු බදුන පිරි ගොස්ය. තව දුරටත් එහි කුණු දැමීමට නොහැක. තදින් පියන වස තැබුවද යම් දුර්ගන්ධයක් මගේ නහයට දැනෙමින් තිබුණි. ඒ කුණු දමන බදුනේ  ඇති නිසා වෙනි. කුණු ලොරිය එන්නේ ලබන අගහරුවාදාය. එතකන් මම මේ කුණු ගොඩත් සමග විසිය නොහැක. යමක් කලයුතුමය. එක වරම මතක් වුයේ එක් අදහසක් පමණි.ඒ රාත්‍රියේදී කුණු බෑගය කොහේහෝ පාරක් අසල දමා යාමයි. කල හැකි එකම, හොදම විකල්පය එය වූ නමුදු එම විකල්පයට යාමට මගේ සිත ඉඩ නොදුනි. වෙනත් යමක්ද කල්පනාවට නොඑන මේ වෙලාවේදී ඈත සිට කුණු බක්කිය තල්ලු කරමින් පැමිණෙන සිරිදාස මට එක වරම පෙනෙන්නට වුයේ මගේ දුක දෙවියනට දැනී මාගේ දුකට පිහිට වන්නට එවූ ගැලවුම්කාරය මෙනි.  අතර අසුවූ කමිසයද හැද මම පාර දෙසට දුවන්නට වීමි. මා එන බවක් සිරිදාස දුටුවේ නැත . කල්පනා සාගරයක නිමග්නව ඔහු තම බක්කිය ඉදරියට තල්ලු කරගෙනඑමින් සිටියේය.

මේ .. කුණු බෑග් එකක් තියනව අරන් යන්න පුලුවන්ද 

අනේ බෑ මහත්තය .. අපිට කියල තියෙන්නේ පාරේ කුණු විතරක් ගන්න කියල ඔය කලුපාට කුණු බෑග් එක දැක්කම අර නිමල්යා කෑගනවා .මහත්තය ඕක කුණු ලොරියට දෙන්න. 

නිමල් යනු ඔහුගේ ලොක්ක වියයුතුය. මෙවැනි කුණු බෑග් ගෙන ගොස් අඩුම තරමේ එක් වරක් වත් ඔහු බැනුම් අසා ඇතැයි මම උපකල්පනය කලෙමි.

ඉතින් එකට  අගහරුවද  වෙනකම් ඉන්න වෙනවනේ  මුකුත් කර ගන්න බැරි  වෙයිද.. මොකද අගහරුවාදා වෙනකම් එකතු වෙන කුණු දාන්න මට තැනකුත් නෑ මේ කුණු තියන් ඉන්නත් බෑ. මොනවා හරි කරල දෙන්න.. 

මා සිටියේ අසරණ අඩියක බව ඔහුට තේරෙන්නට ඇත.

පොඩි බෑග් එකක්ද .. ගත් කටටම බෑ කියූ ඔහුගෙන් මෙවැනි ධනාත්මක ප්‍රශ්නයක් යොමුවීම මාගේ සතුටට හේතු විය.

ඔව් පොඩි එකක්.. මගේ කුණු බෑගයේ තරම දන්නේ මමයි.. එය කුඩා ප්‍රමාණයේ එකක් නොවන බව මම හොද කරවම දන සිටියත් ලැබුණු මේ අවස්ථාව අහක දැමීමට මට සිත් නුදුන් නිසා මම බොරුවක් කීවෙමි.

කොහෙද බෑග් එක තියෙන්නේ.. 

අහ්හ් ඉන්න මම අරන් එන්නම්.. 

ලොකු බෑග් නම් බෑ මහත්තයා.. මම බෑගය ගෙන ඒමට යන විට ඔහු කෑ ගෑවේ මම කිවේ බොරුවක් බව දැන ගෙන මෙනි.

මා රැගෙන එන කුණු බෑගය දුටු විටම 


අපෝ ඕක නම් බෑ මහත්තයෝ .. මේ වගේ බෑග පාරවල් අයිනේ තියෙන්නේ නෑනේ. තිව්වොත් දඩ. ඕක නම් බෑ මහත්තයා ..

හරි හරි මෙන්න මේක තිය ගන්නවකො... 

මම රුපියල් 50 කොලයක් ඔහුගේ අතෙහි තැබුවෙමි. සැබවින්ම මා ඔහුට දුන්නේ  සන්තෝසමකි. ඒ මාගේ කාර්යය කර දීම වෙනුවෙනි. එය  ඔහු කෙසේ භාර ගත්තද මට  එය නොකර ඉන්න බැරි වුයේ රුපියල් 50ට වඩා කුණු ගදත් එක්ක තව දවස් හතරක් ජිවත් විය නොහැකි බැවිනි. පනහේ කොළයත් කුණු බෑගයත් දෙස බැලු හෙතෙම 

අනේ මන්ද මහත්තයෝ.. හ්ම් දෙන්නකෝ ඔය බෑග් එක එහෙනම්. 

සල්ලි කතා කරන්න ගන්නේ මෙන්න මේ වෙලාවටය. මා කල වැඩේ වැරදිය. නමුදු කරන්නට දෙයක්  නැත. 

දැන් ඕක ගෙනියන්නේ කොහොමද.. මා විමසුවේ මෝඩ ප්‍රශ්නයක් දැයි එය ඇසු පසු මට සිතුනි. මන්ද මින් ඉදිරියට කුණු බෑගයේ වගකීම ඇත්තේ ඔහු සමගය. ඒ සදහා මම ඔහුට යම් මුදලක්ද ගෙවා ඇත. එත් එම ප්‍රශ්නය මම ඇසුවෙමි. 

ඒක  මම බලා ගන්නම් මහත්තයෝ යන පිළිතුර මම ඔහුගෙන් අපේක්ෂා කලෙමි.  නමුදු මගේ ප්‍රශ්නය ඔහුට ඇසුනේද නැත්ද, නැතිනම් ඇසුනත් නෑසුනා වගේ සිටියාද කියා මම දන්නේ නැත. ඔහු මට  පිළිතුරක් ලබා නුදුනි . ඒ වෙනුවට ඔහු කලේ නිහඩවම කුණු බක්කිය වෙත ගමන් කිරීම පමණි.  කුණු බෑගය පිටින්ම එහි පටවා  ගනිතියි මා  මුලදී  සිතුවත් එය නිවැරදි නොවීය. මා  සිතුවාට වඩා ඔහු කපටිය. ඒ කපටි කමද තැනට සුදුසු නුවණද යන්න පිළිබද මම වැඩිපුර සිතුවේ නැත. සිතුනේද නැත.  මාගේ කරදරය  අවසන්ය. එය මට ප්‍රමාණවත්ය.කෙසේ හෝ මා දුන්  කුණු බෑගය විවෘත කල ඔහු එහිතුල වූ සියල්ල තම බක්කියට හලා  ගත්තේය. ඉන් පසු තම සුපුරුදු ගමනින් නැවත ඉදිරියටම ඇදෙන්නට විය. එදිණින් පසු මට කුනු ලොරියට කුණු දැමීමට නොහැකිවන සෑම විටම මාගේ පිහිටට ආවේ සිරිදාසය. ඒ  සිරිදාසට මගේ කුණු මල්ල ලබා දීමෙනි. ඒ නිකන්ම නොවේ. පුංචි සන්තොසමක්ද සහිතවය. ඔහුද එය බලාපොරොත්තුවිය. ඒ සිරිදාස පිළිබද මගේ මුල්ම මතකයි.

මාගේ හදිසි වැඩකටයුත්ත අහවර වූයේ සිරිදාස ගොස් විනාඩි 45කට පමණ පසුවය. පොඩි බඩගින්නක් දැනෙන්නට වූ අතර බිස්කට් පැකට්ටුවක් මිලට ගැනීමේ අදහසින් මම අසල වූ කඩය  පිය මනිනට විය. තවමත් සිරිදාස කඩය අසල සිටිනු මම දුටිමි. ඔහු සමග විශාල ප්‍රමාණයේ කුණු බෑග්  හතරකි. ඒවා ගෙවල් තුන හතරක ඒවා විය නොහැක. මන්ද ඒවා විවිද ගෙවල් වල ඒවා නම් සිරිදාස දැනටමත් ඒවා විවෘත කොඅට තම බක්කියේ දම ගෙනය. මේවා එක ගෙදරක විය යුතුය. මම පූර්ව නිගමනයකට එළබියේය.මා වාගේම වෙනත්  අයෙකු  ඔහුට මේ කුණු බෑග් ටික දුන්නා විය හැක. නමුදු මෙතරම් ප්‍රමාණයක් කුණු එකතු වනතුරු ගේ මුල්ලේ තබා ගෙන සිටි තැනැත්තා කවුදැයි  මම නොදනිමි. කෙසේ නමුදු  සිරිදාස, බෑග් එකින් එක විවෘත කරමින්  බක්කියට දමා ගන්නා අතරතුර එම කුණු අවුස්සාද බලයි. ඔහුට වැදගත් යයි සිතන දෙයක් වෙතූත් එය බක්කියේ පැත්තකින් වූ දුර්වර්ණව ගිය ඉටි බාගයට දා ගනියි. නමුදු මෙම ක්‍රියාවලිය මගේ කුණු මල්ල බක්කියට දම ගත පසු සිදු නොකරයි. ඒ මගේ කුණු මල්ලේ වැදගත් යමක් නැතැයි ඔහු එළබි නිගමනයන් නිසාය. සැබවින්ම මගේ කුණු මල්ලේ ඇත්තේ එදිනෙදා කෑම කා අවසන් වන ඉදුල් සහ කාමරය අස් පස්  කිරීමෙන් එකතුවන කුණු පමණි.

මගේ කුණු මල්ල එසේ වුවද  වෙන එකෙකුගේ කුණු අවුස්සමින් සිටි සිරිදාසට එක වරම අසුවුයේ අනර්ග වස්තුවකි .ඒ රට අරක්කු බෝතලයකි. එහි අඩියේ යම් අරක්කු ප්‍රමාණයක් විය. වරක් නොව දෙවරක්ම වටපිට බැලු ඔහු කිසිවෙකුත් තම දෙස නොබලා  ඇතැයි යන්න සැක  හැර දැන  ගත්  පසු  එක හුස්මට රට  අරක්කු ටික  බිව්වේය.  මා එන බව ඔහු දුටුවේද  නැත. මා මේ සියල්ල දුටු බවද ඔහු දන්නේ නැත. 

අරක්කු බොන මිනිහා අරක්කු වලට ලෝබය. අඩියේ  චුට්ටද ඔහුට වටී. සිරිදාස පෙරේත කමට බිව්වේ ඒ අරක්කු චුට්ට්ය. එය කුණු ගොඩට විසිකළ තැනැත්තාද නොබිව්වේ ඒ අරක්කු චුට්ට්ය. ඔහු එසේ නොබිව්වේ මන්දැයි මම නොදනිමි. 

එම අරක්කු වල සැරටද මුණු අමුතු කර ගත ඔහු කාරා කෙලපාරක්ද පාරට ගැසුවේය. ඒ වනවිට මම සිටියේ සිරිදාස ආසන්නයේය. 

අහ්හ් සිරිදාසට අද සරුයි වගේ.

කුණු බෑග් ගණන වැඩිවන විට ලැබෙන සන්තොසමද වැඩි බව මම දන්නා හෙයකින් ඇසුවෙමි.  අහිංසක ලෙස හිනාවක් පෑ ඔහු 

අර පන්සල පාරේ තට්ටු තුනේ ගෙදර කුණු.. මෙච්චර එක පාරටම කොහෙන් ආවද මන්දා.. 

පන්සල පාරේ ඇත්තේ තට්ටු තුනේ එක ගෙදරක් පමණි. ඒ අසංකලගේ ගෙදරය. 

අසංක මහත්තයලයි ගෙදර නේද .. මම ඇසු නමුදු ඔහුගෙන් එයට පිළිතුරක් නොවීය. සමහරවිට ඔහු අසංකව නොදන්නවා විය හැක. 

ඔහු තමන්ට අද පිනට ලැබුණු "ෂොට්" එක යමක් පවසාවි යනුවෙන් මා සිතුවද එය එසේ නොවින. ඔහු කිසිත් කීවෙත් නැත .. මා කිසිත් ඇසුවේද නැත 

************************************************************************************************************

දින දෙකකට පසුව නවාතැන අසල වූ සුපිරි වෙළද සලේදී අසංක මට මුණ ගැසුණි .. ඔහු දුටු  විගස මට සිහිවුයේ අර කුණු ගොඩ ගැනය. අර අරක්කු බෝතලය ගැනය. ඒ පිළිබද දැන  ගැනීමේ කුණු අදහසක්ද මගේ සිතේ දළු ලමින් ඇත.

උබ මාසෙකට එක පාරයිද ගෙදර කුණු ටික එලියට දාන්නේ..
මම සිනා සෙමින් ඇසු නමුදු එම ප්‍රශ්නය ඔහුගේ විමතියට හේතු විය. 

කුණු .. ඇයි උබ එහෙම අහන්නේ.. අසංක  ප්‍රශ්න කළේය.

පෙරේදාද කොහෙද මම දැක්කා  කුණු මෑන් කුණු බෑග් හුගක් තියන් ඉන්නවා, ඇහුවම උබලගේ ගෙදරින් කිව්වා ..

උබටත් ඕනේ නැති කුණු ගොඩක් නෑනේ. 
මාගේ උරහිසට තට්ටුවක් දමනින් මහා හඩින් සිනාසෙමින් ඔහු කිවේය .

නෑ බන්. පෙරේදා අපේ පොඩි මාමා ආවා රට ඉදන්. ඉතින් ගෙදර කට්ටිය එකතු වෙලා පොඩි පාර්ටි එකක් දැම්ම..

පොඩි පාර්ටි එකක් නම් වෙන්න බෑ තිබ්බ කුණු ගොඩේ හැටියට නම්.. 

දන්නේ නැත්ද ඉතින්.. අප දෙදෙනා අතර  සිනා සාගරයකි.

මම හිතන්නේ උබලගේ පොඩි මාමට සල්ලි වැඩි වෙලාද කොහෙද අරක්කු තියෙද්දී බෝතල් විසි කරන්නේ.. පොඩ්ඩ ඉතුරු උනත් අරක්කු නේ..
එක ප්‍රශ්නයකට උත්තර ලැබිණ,සිතේ අනෙක් ප්‍රශ්නයට උත්තර ලබා ගනු අටියෙන් මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහු කිවා  නිවැරදිය. මට ඕනේ නැති කුණු ගොඩක් නැත.

අරක්කුත් එක්ක බෝතලයක්..?? වෙන්න බෑ.. 
වෙන කිසිවෙකුටත් අනුකරණය කල නොහැකි තමන්ටම හුරුවූ විදියකින් ඔහු කිවේය .

ඔව් අර රතුපාට  වොඩ්කා බෝතලයක් විසි කරලා තිබ්බේ ..
නොසිතු මොහොතක මගේ කටින් එය එලියට පැන්නේ මම ඔහුගේ කුණු ගොඩ ඇවිස්සුවාක් මෙනි.සමහරවිට ඔහු එසේ  සිතන්නට ඇත. එය මට වෙනස් කල යුතුය.

මම දැක්ක කුණු මෑන් ඒක අදිනවා. එතකොටයි මාත් දැක්කේ. 
සැබවින්ම සිදුවු දේ මම පැවසුවෙමි. දැන් ඔහුගේ  කුණු ගොඩ මම ඇද්දේ නැති බව ඔහුට පැහැදිලි වන්නට ඇතැයි මම සිතුවෙමි.

අහ්හ් .. වොඩ්කා බෝතලේද.. 
නැවත ඔහු පෙරට වඩා හඩින්  සිනාසෙයි.. 

ඔව් උබ නොබිව්වට කුණු මෑන් එක බිව්වා.. 

එය පැවසු විගස අසංකගේ සිනාව අතුරුදහන් විය. තත්පර කිහිපයක් නිහඩව සිටි ඔහු 

ඌ ඒක බිව්වා..
කියා  නැවත මහා හඩින් සිනා සෙන්නට විය..

ඇයි උබ හිනා වෙන්නේ.. 
මම ඇසුවෙමි. සැබවින්ම ඔහුගේ හිනාව මට ප්‍රශ්නයකි. නමුදු ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණි. 

එදා රෑ බීල වැඩි වෙලා මට බාත් රූම් යන්න කම්මැලිකමට අඩියේ චුට්ටක් වොඩ්කා තිබ්බ බෝතලේකට මං චූ කළා.. උදේ මට ඒ බෝතලේ හිස් කරන්න මතක උනා..  අරූ බීලා තියෙන්නේ  ඒ වොඩ්කා බෝතලේ.. 

මගුලයි.. 
මටත් බකස් ගා හිනා ගියේය .

අහිංසක සිරිදාස රසකරමින් එදා බී ඇත්තේ ඇති පදමට බී වැඩි වූ අසංකගේ මුත්‍රා ය. ඔහු එවැන්නක් බිව් බවද  බිව් පසු ඔහුට සිදුවුයේ කුමක් දැයි පසු දිනෙක ඔහු මට කීවේද නැත . මම ඇසුවේද නැත.

එත් අහිංසක සිරිදාස ගැන මට දුකය..